Wednesday 27 July 2016

අපේ ඉස්කෝලේ සහ ඔවුන්ගේ ඉස්කෝලේ



කාලෙකට පස්සෙ කොළඹින් ටිකක් දුර බැහැරට යන්න ලැබිච්ච අවස්ථාව ගැන අපි දෙන්න හිටියෙ හරිම සතුටකින්. අපි යන්න බලාපොරොත්තු වුණේ බොරලංකඩ ගමට‍, දවසකට දෙපාරක් තුන්පාරක් ඉහළට පහළට දුවන බස් රථය ගැන අවබෝධයක් නැති නිසාම ත්‍රීවීල් එකක් කතා කරගෙන අපේ ගමන යන එක කොයිකටත් හොඳයි කියල අපි තීරණය කළා. හැටන් බස් එකින් ඇවිත් දෙහිඕවිටින් බැහැල දැරණියගල බස් එකට නැඟලා උඩබාගේ හන්දියෙන් අපිව බස්සන්න කියල‍ රියදුරු මහත්තයට කීවා‍. මිනිත්තු විස්සකින් විතර අපි ගමනාන්තයට ළඟා වුණා. තවමත් උදෑසන අටට ළංවෙලා නෑ‍‍. තුනී මීදුම් වළාවක් රබර් ගස් අතරින් පෙරී එමින් තිබුණා‍. පාරෙන් අනිත් පැත්තෙ කන්ද උඩ පන්සල‍. පරිසරයෙ තිබුණෙ හරිම නිස්කාන්සු බවක්. මහ ලොකුවට නැතත් අත්‍යවශ්‍ය හැම දෙයක්ම ඒ පුංචි කඩමණ්ඩියෙ තිබුණා‍. අපි වීල් එකක් එනකම් බලාගෙන හිටියා‍‍.
පරිසරයෙ තිබුණු නිස්කාන්සුව තීව්‍ර කරමින් පන්සල දිහාවෙන් නිතර සවනත නොගැටෙන අමයුරු ගීයක් ඇසුණා. රූපවාහිනී යන්ත්‍ර ගෙදර සාලෙ ආක්‍රමණය නොකළ හැත්තෑව අසූව දශකවල අපිට ළඟම මාධ්‍ය වුණේ ගුවන්විදුලිය. ඒ බොහෝ උදෑසනවලදී උදා ගී වැඩසටහනින් නිතර සවනත රැඳුණු ඒ ළයාන්විත හඩ අපේ සවන් පත් ළඟ නින්නාද දුන්නා‍. උඩබාගේ හන්දියට නුදුරින් පන්සල ඉහත්තාවේ තියෙන පුංචි පාසල අපිව ආයෙත් අපේ ළමා කාලේට අරගෙන ගියා‍‍.
මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය
ආදරය කරුණාව දයා උතුරා ගලන

මා සිතෙහි ශිල්ප හා ගුණ දහම් ඇත රැදී

ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන

මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්
මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය
පරිසරය මා රකී රකිමි මම පරිසරය

ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි
වාසනාවන්තවූ අනාගතයක් කරා

පාසලින් මඟ දකින හොඳම දරුවා මමයි ///
දැරණියගල ගිහින් ආවට පස්සේ අපේ පළමු කටයුත්ත වුණේ නැවත නැවතත් රසවිදී ඒ ගීතය සොයා ගැනීම‍. අන්තර්ජාලය බොහොම ඉක්මනට ඒ වැඩේ කරල දුන්නත් ගීයේ හිමිකාරීත්වය සොයා ගන්න සෑහෙන මහන්සියක් වුණා.
ඒ ආනන්දනීය හඬේ හිමිකාරීය වුණේ ප්‍රවීණ ගායිකා නාලනී රණසිංහ. ගීතය ලිව්වෙ හිටපු අධ්‍යාපන ඇමැතිවරයෙක් වු සමරවීර වීරවන්නි මහත්තයා කියන ඔත්තුව දුන්නෙ බන්දුල නානායක්කාරවසම් සොහොයුරා‍‍‍. අන්තිමට නාලනී රණසිංහ ශිල්පිණිය අමතන්න අවස්ථාවක් ලැබුණා‍. ඒ සොදුරු පද වැලට ස්වර රටාවෙන් ජීවය ලබාදී තිබුණෙ ආනන්ද ජයසිංහ මහතා බවත්, ඔහු එවකට සංගීත අංශයේ ප්‍රධානියාව සිටි බවත් ඇයගෙන් දැනගන්න ලැබුණා. නාලනී රණසිංහ සහ ඇගේ ගීත ගැන කතාකරන්න බොහෝ දේ තිබුණත් ඊට කලින් නමක් නොදන්න පාසලේ විදුහල්පතිතිතුමාට ස්තුතී කරන්න අවශ්‍යයි කියල මතක් වුණා. හිමිදිරියේ පාසලට එන පුංචි දුවා දරුවන්ගේ ආදරණීය හිත් දයාවෙන් කරුණාවෙන් පුරවන්න, ඒ ජීවිතවලට අරුතක්, අරමුණක් දෙන්න ගන්න පුංචි උත්සාහය ඇත්තටම අගේ කරන්න අවශ්‍යයි.
ගතවුණු ජනවාරී හතර වැනිදා, පාසල අලුතින් පටන්ගත්ත දවස‍. එදා අපි දෙන්නා පාසල් කීපයකටම ගියා‍. බස්නාහිර පළාත ඇතුළෙ, එළවළු පලතුරු පැළ වගයක් බෙදා දෙන්න‍. ඉන් එක් පාසලක් ප්‍රාථමිකයක්. විදුහල්පතිතුමා සර් කියල තරුණ ගුරුවරයකු අමතලා ළමයි කීප දෙනෙක් ඉල්ලා සිටියා‍.‍
තුන්වන ශ්‍රේණියේ තරම පොඩි පුතාල දහයක් විතර ආවා ඒ වැඩේට උදවු වෙන්න. හැබැයි ඒ පුංචි පුතාලට මුල්ගුරුතුමයි පංතිභාර ගුරුතුමයි ඇමතූ විදියට අපි දෙන්නා මූණට මූණ බලාගත්තා.

‍“මෙහෙ වරෙල්ලා, මේව ගිහින් තියාපල්ලා, මුන්ව හදන්න බෑ සර්, මූ තමයි සර් පැෂන් වැල කාපු එකා ” ආදී වශයෙන් ඒ දරුවන්ව ගුරුවරුන් විසින් ආමන්ත්‍රණය කෙරෙද්දි, ශිෂ්‍යයනුත්, ඒ වගේම කතා කළා.
“ අද පංතියෙ කොල්ලො කීයද සර්? ලොකු සර් ඒ විදියට අහනකොට උත්තර ලැබු‍ණෙ දරුවන්ගෙන්.
“ කොල්ලො අටයි, කෙල්ලො පහයි සර්” ලොකු සර් මූ ගස්නැග්ගා, ලාවුළු ගහේ අත්ත කැඩුවා” දරුවො ගිරව් වගේ කතා කරන්න ගත්තා.
අපේ පහුගිය කාලය දැනට වැඩිය හොඳයි නෙ. පංතියෙ වැරදිවලට කොහොම බැණුම් ඇහුවත් පිට මිනිස්සු ඉස්සරහා පුතේ, දරුවනේ කියල අපිට ගුරුවරු කතා කළා නේද කියල චන්නයි මමයි කතා වුණා.
ඒ පාසල ගැන මතක් වෙද්දි ඒ දරුවො ගැන ඇත්තටම කනගාටුවක් හිතනවා. ඒ අතින් උඩබාගේ දරුවො වාසනාවන්තයි කියල හිතන හිතිවිල්ල සාධාරණයි කියල හිතෙනකොට අනේ ලංකාවේ සියලුම පාසල් දරුවන්ගේ මුවින් “පාසලින් මඟ දකින හොඳම දරුවා මමයි” කියල ගැයෙන දවසක් ගැන මම හීන දකිනවා‍

ලිහිණි

Wednesday 26 February 2014

මුහුණු පොත සහ ජනමාධ්‍ය

           
           මොහොතින් මොහොත රූපවාහිනී තිරයේ අකුරු වැල් ඇදෙනවා. පත්තරේ විස්තරේ ඇස් දෙකට කලින් කන් දෙකට වදිනවා. ඒත් විඳින්න දකින්න තියෙන දේවල් ප්රවෘත්ති කියන ඒවම කියල මගේ හිත මගෙන් අහනවා. ඇත්තම කියනවා නම් මිනිස්සු හොයන්නෙ කුණු රහ, මිනිස්සුන්ට දෙන්නෙත් කුණු රහ, ඉල්ලුමට සැපයුම තියෙන්නත් ඕනෙ කියනවනේ නේද? වුණත් අනේ ඉතින් අපිට මොකද කියල අහක බලන් ඉන්න පුළුවන් කමක් නැති කමට මාත් හෝද හෝද මඩේ දානව වගේ මට දැනෙන දේවල් ලියනවා.

         අලුත්ම ප්රවෘත්තිය තවත් ෆේස් බුක් මරණයක්නිමිත්ත වර්චුවල් ලොකේ පෙම්වතුන් යුවලකගෙ පළමු සැබෑ හමුවීම. පෙම්වතා තමන්ගෙ මවුපියන් සමඟ මෙතෙක් කලක් පෙම්බැදි වර්චුවල් පෙම්වතියගේ ගෙදරට පැමිණ තිබුණා. අවාසනාවකට ඇය එතෙක් කලක් පෙනී සිට තිබුණෙ තම සැබෑ නමින් වුවත් අන් කෙනකුගේ ජායාරූපයකින්. අවසන් ප්රතිඵලය වුණෙ චර්චුවල් පෙම්වතා සහ ඔහුගේ මවුපියන් නික්ම ගිය පසු කාමරයට වැදුණු පෙම්වතිය සියදිවි හානිකර ගැනීමයි. මොකක්ද අපිට වෙන්නෙ. කොතනද අපිට වැරදෙන්නේ.

              ඇත්තටම මේ වෙන බොහෝ සිදුවීම්වලට හේතුව විදියට මට දැනෙන්නෙ ආත්ම වංචා මේවට බලපානවා කියලා. වර්තමාන පරම්පරාවට තමන් ගැන හැඟිමක් නෑ. තමන් කවුද? මොනවද කරන්නෙ? මොනවද කළයුත්තෙ කියන දේ අවබෝධ කරගන්න තරම් දැනුවත් බවක් පෞරුෂය මුහුකුරායාමක් අද දරුවන්ට නෑ. දක්ෂ අදක්ෂ, උස මහත, කැත ලස්සන, දුප්පත් පෝසත් මේ හැමදේම සාපේක්ෂයි කියල දකින්න හිතන්න තේරුම් ගන්න, තේරුම් කරල දෙන්න කල්යල් බලන්න අනවශ්‍යයයි කියලයි මට හිතෙන්නේ.

      මිනිසුන්ට ලෝකෙ තියෙන විවිධත්වය තේරුම් කරලා දෙන්න මහලොකු උත්සාහයක් ගන්න අවශ් නෑ. අප අවට තියෙන පරිසරය අපිට විවිධත්වය ඉගැන්නුවත් අද තත්ත්වය ඊට හුඟක් වෙනස්. අද හැම තැනම දකින්න තියෙන්නෙ අමුතුවෙන් මවන සංස්කෘතියක්. අලුත් සංස්කෘතියෙ තියෙන්නෙ ලස්සන දේවල් විතරයි.

        කොටින්ම කියනවා නම් ඉස්සර අපි පුංචිකාලේ ඉගෙන ගත්ත කළු කියන්නෙ දැකුම්කළු කියලා. නමුත් අද කළු කියන්නෙ කැතයි කියන අර්ථයෙන්. වෙනකක් තියා සුසන්තිකා ජයසිංහ ඔලිම්පික් පදක්කම ගන්න යනකොට මුළු ලෝකෙම ඇයව හැඳින්නුවෙ ආසියාවේ කළු වෙළඹ කියලා. අද කළු වෙළඹත් සුදුවෙලා. අලුත් සංස්කෘතියට අනුගත වෙලා. මේ හැමදේම වෙන්න හේතුව මොකක්ද? ඇයි තමන් තමන්වම හීනමානයට පත්කරගන්නේ.

       මේ තත්ත්වය මේ විදියට විස්තාරණය වෙන්න මාධ්‍යයයෙනුත් ලොකු බලපෑමක් වෙනවා. අදට වඩා ඊයේ හොඳයි කියන තැන ඉඳල මම කතා කරනවා කියල ඔබට හිතෙන්න පුළුවන්. නමුත් අද මාධ්‍යයට සමාජමය වගකීමක් නෑ. තිබුණත් ඔවුන් එය විදියට බාරගන්න ලෑස්ති නෑ. බොහෝ එෆ් එම් නාළිකාවල අරමුණ ඉල්ලුමට සැපයුම විතරයි.

       මෑත දිනක පුවත්පතක පළවෙච්ච සම්මුඛ සාකච්ඡාවකදි එක් ගුවන් විදුලි නාළිකාවක වැඩ සටහන් සම්පාදකවරයෙක් කියල තිබුණා, මාධ්‍යයෙන් මිනිසුන් හදන්න බෑ, දැනුවත් කරන්න බෑ ඒක ලොකු බොරුවක්, මාධ්‍යයෙන් මිනිසුන් ඉල්ලා සිටිනදේ දිය යුතුයි. එතනයි පැවැත්ම තියෙන්නෙ කියලා. ඉතින් මාධ්‍යයෙන් ජනතාව ඉදිරියටගේන්නෙ වෙළෙද ආයතනවලට අවශ්‍ය දේවල්, සමාජයීය ඕපාදුප සහ ඔවුනගේ ලාභ ලබාගැනීමේ ඉලක්ක සපුරාගැනීම සඳහා වන, ගෙදරටම ගිහින් අහන්නේ අපේ චැනල් එකනම් දෝතපුරා තෑගි කියන සංකල්පය.

      ඒ විතරක් නම් කමක් නෑ. මීනි මැරුමක්, මංකොල්ල කෑමක්, ස්ත්‍රී දූෂණයක් වුණාම අකුරින් අකුර ක්රිකට් විස්තර විචාරයක බෝලයෙන් බෝලයට වගේ විස්තර කෙරෙනවා. මේ හැම සිදුවීමක් , පාඨක ප්රේක්ෂක මනසේ චිත් විදියට තැන්පත් වෙනවා කියන හැඟීමක් අපේ මාධ් සගයින්ට ඇති නොවීමම කනගාටුවට කරුණක් වන්නේ ඊළඟ හදිසි මරණයට පාර කියාදෙන්න අපිත් දායක වුණා කියන හැඟිම මාධ්‍යයේ කටයුතු කරන අපේ හිතේ ඇති නොවෙන හින්ද කියල මම යෝජනා කරන්න කැමතියි.

    දැන් ඉතින් අපි කුමක් කළ යුතුද? දැන්වත් පිරිපුන් හෘදසාක්ෂියක් සහිත මිනිසුන් වශයෙන් හැසිරීමට අපි එක්ව කටයුතු කළයුතු මොහොත එළඹ තිබෙනවා නේද? ලියන අකුරක, දොඩන වදනක, කැමරාකාචයකට හසුකරගන්නා දර්ශනයක නොකිය කියන කතාවට අප සමාජයට වගවිය යුත්තෝ වෙමු. නිශේධනීය, අරුත්සුන් සම්ප්‍රප්පලාප වෙනුවට සාධනීය අරුත්බර සමාජ වගකීමක පංගුකරුවන් වීමට වෙහෙසමු. මොහොතින් මොහොත මියදෙන කාලයට නවමු අරුතක් එක්කරමු
.
        ඒ ඔබේත් මගේත් සමාජ වගකීමයි. අපි වෙනුවෙන් උත්සාහ දරමු. ලෝකය හැරයාමට උත්සාහ කරන දරුවකුගේ මනස වෙනස් කිරීමට, වෙහෙසින් මහන්සියෙන් හෙම්බත්වූ පුරවැසියකුගේ මනස ්‍රබෝධමත් කිරීමට, ආදරයෙන් දයාවෙන් ලෝකයාගේ සිත සනසාලීමට ඔබේත් මගේ කටහඬ, කැමරාව, පෑන, පින්සල, මාධ්‍යයක් ලෙස යොදා ගන්නේ නම් වඩා යහපත් හෙටක් සඳහා වූ අපේ දායක්වය ගැන අපිට කිසියම් සතුටක් ඉතිරිවේවි. මුදලම ජීවිතය නොවන සමාජයක අපේ සමාජ වගකීම උදෙසා, ආත්ම වංචාවෙන් තොරව ජීවිතය දකින්න, විඳින්න, සමාජයට තෙවන ඇසක් අවැසි යුගයක අපි ජීවත් වෙමු. මේ හිස් අවකාශය අප වෙනුවෙනි.